Thursday, June 7, 2012

බදුල්ල රෝහලම හඬවා අවසන් ගමන් ගිය "දොස්‌තර නෝනා"


පොසොන් සඳ මෝදු වෙමින් තිබිණි. පොසොන් පොහොය සමරන්න මුළු රටම පෙළ ගැසෙද්දී කාර්ය බහුල සේවාවන් අතරතුර බදුල්ල රෝහල් කාර්ය මණ්‌ඩලයද පොසොන් පෝදා උදෑසනින්ම රෝහලට ආවේ බල්බයකින්, පහන් කූඩුවකින් හෝ රෝහල අලංකාර කරන්නටය.

එහෙත් පොසොන් පෝ දින ඔවුන්ට කරන්නට සිදු වූයේ අනෙකකි. ඒ හිටි හැටියේම මියගිය බව කියන එම රෝහලේම වෛද්‍යවරියක වූ ප්‍රියංගිකා කුමාරි මෙනවියගේ මළගම වෙනුවෙන් රෝහල් භූමිය සුදු කොඩිවලින් සරසන්නටය.

"ඩොක්‌ටර් ප්‍රියංගිකා මැරිලලු. මරණෙ සැකයිලු. කාමරේ සිහි නැතිව ඉඳල තියෙන්නේ. අනේ සීදේවී දොස්‌තර නෝනා. හරිම අහිංසකයි. නංගි තමයි ඉස්‌සර වෙලා දැකල තියෙන්නේ" රෝහල පුරා මෙන්ම බදුල්ල හා ඒ අවට ප්‍රදේශය පුරාද වෛද්‍යවරිය මියගිය පුවත ලැව් ගින්නක්‌ සේ පැතිර ගියේ එසේය.

වෛද්‍ය ප්‍රියංගිකා කුමාරි ගුණසේකර බදුල්ල මහ රෝහලේ පළමු වාට්‌ටුවේ සේවය කළ දක්‌ෂ කාරුණික වෛද්‍යවරියක වූවාය. තවමත් කෙළිලොල් වියේ පසුවූ ඇය 28 හැවිරිදිය. අවිවාහකය. ඇගේ මිතුරියක වූ තවත් වෛද්‍යවරියක සහ උසස්‌ අධ්‍යාපනය ලබන නැඟණිය සමග ඇය ජීවත් වූයේ රෝහල් වෛද්‍ය නිල නිවසේ කාමරයකය.

ඇය සේවය කළ රෝහලට කිලෝමීටර් 25-30 මෑතින් පිහිටි මීගහකිවුල, කිවුල ගම්මානයේ ඇගේ දෙමාපියෝ පදිංචිව සිටියහ. දෙමාපියන් මෙන්ම තම සහෝදරයන් සහෝදරියන් සමග මනා සම්බන්ධතාවක්‌ පවත්වාගෙන සිටි ඇය ඉඩ ලද හැම විටම නිවසට දුව ආවේ දෙමාපියන් දැක බලා ගන්නටය. ඔවුන්ගේ උණුසුම ලබන්නටය.

පහුගිය සිකුරාදත් දුව නුවර ඉස්‌පිරිතාලෙට ලෙඩෙක්‌ අරගෙන ගිහිං එන ගමන් ගෙදර ආවා. එයා රෑත් ගෙදර ඉඳල උදේ තමයි ගියේ. කිසිම අමුත්තක්‌ පෙන්නුවෙ නෑ. රෑ කෑම කාල අපිත් එක්‌ක කතා කර කර හිටියා. එයාට කිසිම ලෙඩක්‌ තිබුණෙත් නෑ" වෛද්‍ය ප්‍රියංගිකාගේ පියා වන ගුණසේකර මහතා කියා සිටියේය.

ප්‍රියංගිකාගේ පියා ගුණසේකර මහතා මෙන්ම මව නන්දාවතී කුමාරි මහත්මියද විශ්‍රාමික ගුරුවරුන්ය. දියණිය වෛද්‍යවරියක්‌ වීම නිසාම ඔවුන් පසුවූයේ අපමණ සතුටකිනි. වෛද්‍ය ප්‍රියංගිකාද ඒ සතුට අහිමි කරන්නට කිසි විටෙකත් කටයුතු නොකළාය. බොහෝ නිහඬ චරිතයක්‌ වූ ඇය රාජකාරිය දිවි දෙවැනිකොට සැලකුවාය.

තම තනි නොතනියට ඇය බදුල්ල මහා විද්‍යාලයේ උසස්‌ පෙළ හදාරන එකම නැඟණිය තම කාමරයේම නවතා ගත්තාය.

නංගී ඔයා එනකොට කෑම දෙකක්‌ම අරං එන්න. ටිකක්‌ වැඩිය ගේන්න. අපි තුන්දෙනාටම දවල්ටයි රෑටයි එක්‌ක" ඒ නිවසට පැමිණ සිටි නැඟණියට වෛද්‍ය ප්‍රියංගිකා දුරකථනයෙන් කීවාය.

ඉන් එහා සිදුවූ බොහෝ දේ දන්නේ වෛද්‍ය ප්‍රියංගිකාත් කෑමත් රැගෙන අක්‌කා සිටි නේවාසිකාගාරයට ගිය නංගී සාරංගිකා හර්ෂණී කුමාරිත් පමණි. අපි සාරංගිකාට සවන් දුනිමු.

"මම දවල් 12.45 ට විතර රෝහලට ආවා. අක්‌ක එහි හිටියෙ නෑ. මම ඊට පස්‌සෙ එයාගෙ කාමරයට ගියා. යනකොට අක්‌ක සිහි නැතිව හිටියා. කටින් සෙම පිටවුණා. මම හයියෙන් කෑගහල රෝහලේ අයත් එක්‌ක එකතුවෙලා අක්‌ක රෝහලට ගෙනාව. ඒත් හවස 5.30 ට විතර අක්‌ක මියගියා කියල ආරංචි වුණා.

මම ඉගෙන ගන්නේ උසස්‌ පෙළ කලා අංශයේ. මට හොඳට තේරෙනවා. කවුරු කොහොම කීවත් අක්‌කගෙ මරණේ මට සැකයි. අපේ අම්මටත් තාත්තටත් සැකයි. අපි සාධාරණයක්‌ බලාපොරොත්තු වෙනවා" යි ප්‍රියංගිකාගේ නැඟණිය ශෝකයෙන් කියා සිටියාය.

ප්‍රියංගිකා කුඩා කල පටන්ම නිහඬ චරිතයක්‌ වූවාය. ඉගෙනුම හැර අන් යමක්‌ ඇයට නොවීය. මීගහකිවුල ඉතා දුෂ්කර ප්‍රදේශයක්‌ වුවත් එහි කුඩා පාසලක ඉගෙනගත් ඇය ඌව පළාතේ ඉහළම ශිෂ්‍යත්ව ලකුණු ලැබූ ශිෂ්‍යාව බවට පත්වෙමින් මහනුවර මහාමායා බාලිකා විදුහලට ඇතුළු වූයේ උසස්‌ අධ්‍යාපනය හමාර කරන්නටය.

දෙමාපියන් ඇතුළු බොහෝ දෙනකුගේ බලාපොරොත්තු මල්පල ගැන්වූ ඇය මීට මාස හයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය නිමාකර බදුල්ල මහ රෝහල වෙත පැමිණියේ සුවහසක්‌ දෙනා සුවපත් කරන්නටය.

"දුව ගමට ආදරෙයි. ගමේ මිනිස්‌සුන්ට ආදරෙයි. ගමේ කෙනෙක්‌ කීවොත් එයා උපරිමෙන් සලකනව" ප්‍රියංගිකාගේ ආදරණීය තාත්තා කී කතාව එහි රැස්‌වී සිටි බොහෝ දෙනෙක්‌ අනුමත කළහ.

වෛද්‍ය ප්‍රියංගිකාගේ අකල් වියෝව දරාගත නොහැකිව බදුල්ල රෝහල් කාර්ය මණ්‌ඩලයද වික්‍ෂිප්තව බලා හිඳිති. කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකළ වෛද්‍ය ප්‍රියංගිකා මේ වන විටත් සිය දෙමාපියන් හිත මිතුරන් හැර ගොසිනි. මේ වන විට ඇගේ ශරීරයේ කොටස්‌ රස පරීක්‌ෂක වෙත ඉදිරිපත් කර ඇත.

මරණයේ තීන්දුව තවමත් ප්‍රකාශයට පත්වී නැත. මරණයට පැහැදිලි හේතුවක්‌ ද ඉදිරිපත් වී නැත. රටක්‌ සුවපත් කරන්නට වෛද්‍යවරියක ලෙස සිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය ප්‍රියංගිකාගේ මරණය අබිරහසක්‌ බව ඔවුන්ගේ දෙමාපියෝ සහ සොහොයුරිය පුන පුනා කියති. ඇය වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතු යෑයිද ඔවුහු පවසති. වෛද්‍ය ප්‍රියංගිකා මැරුවාද? හදිසි රෝගී තත්ත්වයකින් මියගියාද? මැරුවා නම් එසේ මැරුවේ ඇයි? ඒ කවුරුන්ද? හෙට දිනයේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත. අපි කාලය එන තුරු බලා හිඳිමු. ප්‍රියංගිකා දියණියනි, වෛද්‍යතුමියනි, ඔබට නිවන් සුව!


උපුටා  ගැනීම -Sri Lankan Doctors

No comments:

Post a Comment